PCNL

ESWL_4b2f3d460d5856fff65d2e50895dde84

මුත්‍රා ගල් ඉවත්කරන සාර්ථකම අළුත් ක්‍රමය PCNL 

 
 

PCNL (Percutaneous nephrolithotomy) හෙවත් පර්කිවූටේනියස් නෙෆ්රෝ ලිතෝටොමි යනු කුමක්ද ?

 
මුත්‍රා ගල් ඉවත් කිරීමට මෙම සැත්කම සිදු කරයි. කුඩා කැමරාවක් සිරුරට ඇතුළුකර වකුගඩුවේ ඇති මුත්‍රා ගල ඉවත් කරයි. වකුගඩුවේ හෝ මුත්‍රා මාර්ගයේ හෝ ඇති මුත්‍රා ගල් ඉවත් කිරීමට ඇති අළුත්ම ක්‍රමය මෙයයි. මෙම ක්‍රමය ඉතා සාර්ථක වන්නේ ඉස්සර වගේ සිරුරේ ලොකු කැපුම් තුවාල නොමැතිව සම මත ඇති කරන කුඩා කැපුමකින් (1cm ) කුඩා කැමරාවක් යොමුකර සිදු කරන සැත්කමකි. මෙහිදී සාර්ථකව වකුගඩුවේ සහ මුත්‍රා වාහිනී වල ඇති ගල් එකවර ඉවත් කිරීමට හැකි අතර මුත්‍රා ගල් කිහිපයක් එකවර ඉවත් කිරීමට හැකි අතර අනෙකුත් ක්‍රම වලදීමෙන් මුත්‍රා ගල් ඉතුරුවිමක් සිදු නොවේ. පැරණි ක්‍රමයේදී විශාල කැපුමක් සිදු කිරීමට වන නිසා සති ගණනාවක් ලෙඩ ඇඳට වී සිටීමට සිදු වුවත් PCNL ක්‍රමයට මුත්‍රා ගල් ඉවත් කිරීමේදී දින 2-3කින් සුවය ලබයි. මෙම ක්‍රමයට විශාල මුත්‍රා ගල් පවා ඉවත් කල හැක. දැනට ඇති සාර්ථකම ක්‍රමයක් වන්නේ PCNL මගින් මුත්‍රා ගල් ඉවත් කිරීමයි.
 
 

මෙම ක්‍රමයට සැත්කම සිදුකිරීමෙන් ඇති වාසි මොනවාද ?

 
1. මෙහිදී ඇති ප්‍රධාන වාසිය වන්නේ ඉතාම කුඩා කපුමකින් (1cm ) විශාල මුත්‍රා ගල් (0.5cm – 4cm) ඉවත් කළ හැකි  වීමයි. 
2. රෝහලේ නැවතී සිටීමේ කාලය දින 2ක් හෝ තුනක් තරම් අඩු අතර ඉතා ඉක්මන් සුවයක් ලැබේ. 
3. සතියකින් වැඩට යාමට පුළුවනි.
4. ලේ වහනය වීම ද ඉතා අඩුයි. 
5. PCNL ක්‍රමයේදී ස්ථාන කිහිපයක ඇති ගල් කිහිපයක් උවද එකවර ඉවත්කළ හැක. 
6. එමෙන්ම මෙම ක්‍රමය මගින් මුත්‍ර ගල් ඉවත් කිරීම ඕනෑම වාර ගානක් සිදුකල හැකයි. 
7. කුඩා ළමුන්ගේ පවා මෙම ක්‍රමය යොදාගෙන මුත්‍රා ගල් ඉවත් කල හැකියි. 
 
 
loin pain
loin pain

පැරණි ක්‍රමයේ ඇති අවාසි මොනවාද ?

 
1. පැරණි ක්‍රමයේදී විශාල කැපුමක් සිදුකරන නිසා ඇතැම්විට සැත්කමෙන් පසු එම පෙදෙසේ ස්නායු කැපීයාම නිසා හිරි වැටීමක් ඇතිවිය හැකියි. 
2. ලේ වහනය අධිකයි.
3. රෝහලේ වැඩි දවසක් නැවතී සිටීමට වන අතර වේදනාවද අධිකය 
4. එමෙන්ම  මාසයක් පමණ වැඩ කිරීමට නොහැකි වනු අතර සම්පුර්ණ සුවයට මාස 3ක් ගතවේ. 
 
 

සැත්කම් සිදු නොකර මුත්‍රා ගල් ඉවත් කිරීමට හැකියි නේද ?

 
ඔව්. සැත්කම් නොකර මුත්‍රා ගල ඉවත් කිරීමට ඇතැම් විට පුළුවන්. මෙම ක්‍රමය extracorporeal shock wave lithotripsy (ESWL) නමින් හඳුන්වයි. මෙහිදී අධිශබ්ද තරංග (Ultrasound waves) භාවිතා කරයි. මෙම ක්‍රමය මගින් මුත්‍රා ගල් ඉවත් කිරීමේදී PCNL  ක්‍රමයේ දී මෙන් සෑම මුත්‍රා ගලක්ම ඉවත් කල නොහැක. මුත්‍රා ගල් පිහිටන තැන සහ ගලේ  ප්‍රමාණය මත වෛද්‍යවරයා විසින් කුමන ක්‍රමය උපයෝගී කරගන්නේද යන්න තීරණය කරනු ලැබේ. 
ESWL සඳහා විනාඩි 45ක් පැයක් පමණ ගතවන අතර මුත්‍රා ගල කුඩා කැබලි වලට කඩා දැමීමක් සිදු කරයි. ඉන් පසු කුඩා ගල් කැබලි මුත්‍රා මාර්ගය දිගේ මුත්‍ර සමග යාමට ඉඩහරියි. මෙහිදී තරමක වේදනාවක් ඇතිවිය හැකි අතර ඇතැම් විට වේදනා නාශක සහ නිදිගන්වීමක් අවශ්‍ය වීමට පුළුවන. මෙම ක්‍රියාව අවසානයේ මුත්‍ර සමග ලේ යාමට පුළුවන. අධිතරංග ලබාදුන් තැන තැලීමක් ඇතිවීමට පුළුවන් අතර වකුගඩුව අවට සහ ඒ අසල ඇති අනෙකුත් ඉන්ද්‍රියයන්ට ලේ ගැලීමක් සිදු විය හැක. එමෙන්ම මුත්‍රා ගල් එලියට යනවිට අපහසුතාවක් ඇතිවිය හැක. කෙසේවෙතත් මෙම ක්‍රමය දැන් වැඩිපුර භාවිතා නොකරන්නේ එහි ඇති සාර්ථක භාවය අඩුකම සහ එකකට වඩා ගල් ඇතිවිට සාර්ථක නොවීම වැනි හේතු නිසයි. එමෙන්ම විශාල ප්‍රමාණයේ මුත්‍රා ගල් මෙම ක්‍රමයෙන් ඉවත් කල නොහැක. කෙසේවෙතත් අධි ශබ්ද තරංග extracorporeal shock wave lithotripsy (ESWL)  මගින් මුත්‍රා ගල් ඉවත්කිරීමට නොහැකි විට PCNL ක්‍රමය යොදා ගත හැක.
 
සැත්කම් නොකර මුත්‍ර ගල් ඉවත්කරන අනෙක් ක්‍රමය නම් (ureteroscope) කුඩා කැමරාවක් සහ X කිරණ භාවිතය මගින් මුත්‍ර මාර්ගය හරහා මුත්‍ර වාහිනී වල ඇති කුඩා මුත්‍ර ගල් ඉවත් කිරීමයි. මේ සඳහා රෝගියා නිර්වින්දනය කිරීමක් අවශ්‍ය වන අතර ඇතැම් විට  ලේසර් (LASER ) කිරණ භාවිතා කර මුත්‍රා ගල කුඩා කැබලිවලට කඩා ureteroscope මගින් ඉවතට ගනු ලැබේ.
 
 
ESWL_4b2f3d460d5856fff65d2e50895dde84
urology-clinic-kandy

PCNL සැත්කම සිදු කරන අවස්ථා මොනවාද ?

 
 
1. PCNL  සැත්කම සිදු කරන්නේ වකුගඩුවේ ඇති මුත්‍ර ගල් විශ්කම්භය 1-1.5 cm ට වඩා විශාල වූ විට
2. මුත්‍රවාහිනීවල විශාල ගල් ඇතිවිට
3. මුත්‍රා ගල් සඳහා අනෙකුත් ප්‍රතිකාර අසාර්ථක වූ විට 
4. මහතින්  වැඩි රෝගීන්ට මුත්‍රා ගල් ඇති විට 
 

PCNL ක්‍රමයට මුත්‍රා ගල් ඉවත් කරන්න තීරණය කිරීමට ප්‍රථම කරන පරීක්ෂණ මොනවාද ?

මෙම සැත්කම සිදු කිරීමට අවශ්‍ය දැයි වෛද්‍යවරයා තීරණය කිරීමට ප්‍රථම පරීක්ෂණ කිහිපයක් සිදු කරයි.
1. මුත්‍රා වල විෂබීජ ඇතිදැයි බැලීම.
2. ලේ පරීක්ෂණ කිහිපයක්  
3. උදරයේ CT ස්කෑන් පරීක්ෂණයක් (මෙමගින් මුත්‍රා ගල් තිබෙන තැන සහ විශාලත්වය නිවැරදිව සොයාගත හැක)
 

සැත්කමට සුදානම් කරන්නේ කෙසේද ?

පහත කරුණු ඔබේ වෛද්‍යවරයාට පවසන්න.
1. දැනට ඔබ ලබාගන්න බෙහෙත් ගැන. 
2. ඔබ ළඟ ඇති බෙහෙත් තුන්ඩු පෙන්නන්න. ඔබ ආයුර්වේද ප්‍රතිකාර හෝ වෙනත් ප්‍රතිකාර ලබා ගන්නේනම් ඒවාද නොසඟවා පවසන්න. 
3. විශේෂයෙන්ම ලේ කැටි ගැසීම වලක්වන ඖශධ ( warfarin or clopidogrel) සහ වේදනා නාශක බෙහෙත් ( aspirin, ibuprofen) ගන්නේ නම්  වෛද්‍යවරයා දැනුවත් කරන්න. 
4. ඔබ ක්ලොපිඩෝග්රල් ( clopidogrel) බෙහෙත ගන්නේනම් එය සැත්කමට දින 7 කට ප්‍රථම නැවැත්විය යුතුය. 
5. සැත්කමට පැය 6කට ප්‍රථම කෑම බීම ගෙන ඉන්පසු නිරාහාරව සිටිය යුතුයි. ඔබේ ඖෂධ  වතුර උගුරක් සමග ගැනීමට මෙය භාධාවක් නොවේ.  
6. සියලුම X – ray පරීක්ෂණ සහ අනෙකුත් පරීක්ෂණ වාර්තා සියල්ල රැගෙන එන්න. 
 

මෙම සැත්කම ආරක්ෂිතද ?

නිර්වින්දනය කිරීමක් මගින් වේදනාව නොමැතිව ආරක්ෂා සහිතව මෙම සැත්කම සිදු කරයි. සාමාන්‍යයෙන් සැත්කමකදී ඇති විය හැකි අනතුරුදායක තත්ත්වයන් වන ලේ වහනයක්, ආසාදනයක් වැනි දේ  මෙහිදී ද කලාතුරකින් ඇති විය හැක අතර ඒ සඳහා ප්‍රතිකාර ඇත. පළපුරුදු විශේෂඥය ශල්‍ය වෛද්‍යවරයෙකු මෙම සැත්කම සිදු කරන විට අනතුරු ඇතිවීම අවමයි. ප්‍රතිජීවක ඖශධ ලබා දීමෙන් මුත්‍රා ආසාදනයන් පාලනය කරයි. 
 

සැත්කම සිදු කරන්නේ කෙසේද ?

මෙය ශල්‍යාගාරයක් තුලදී සිදු කරනු ලැබේ. නිර්වින්දය කර සැත්කම සිදු කරන බැවින් වේදනාවක් ඇති නොවන අතර ආරක්ෂා සහිත වේ. මුත්‍රා ඉවත් කිරීමට ඔබගේ මුත්‍රාශයට මුත්‍රා බටයක් දමනු ලබයි. ඉන් පසු කුඩා කැමරාවක් සහිත බටය උදරයේ පිටුපස 1cm  කුඩා කැපුමක් තුලින් ඇතුල් කර අදාල ස්ථානයට ගොස් විශාල මුත්‍ර ගල් කුඩා කොටස් වලට කඩා ඉවත්කරයි. සැත්කමට පැය 2-3ක් ගතවේ. මෙම සැත්කම සාර්ථකව සිදුකිරීමට ශල්‍ය වෛද්‍යවරයාට අමතරව නිර්වින්දන වෛද්‍යවරු, X- ray තාක්ෂණවේදීන්, හෙදියන් ඇතුළු කාණ්ඩායමක් සහභාගී වේ. ගල් වල කොටස් පරික්ෂා කිරීමට රසායනාගාරයට යවනු ලැබේ. 
 

සැත්කමෙන් පසු පාවිච්චි වන්නේ කෙසේද ?

1. සැත්කම අවසානයේ මුත්‍රා ගල් තිබුණු වකුගඩුවේ සිට කුඩා බටයක් තාවකාලිකව තබනු ලැබේ. 
2. සැත්කමෙන් පසු  දින 2-3 ක් රෝහලේ නැවතී සිටීමට සිදුවේ.  
3. වේදනාව නැති කිරීමට වේදනා නාශක ලබාදෙනු ලැබේ. 
4. ප්‍රතිජීවක ඖෂධ තවත් දින 5කට ලබා දිය යුතුයි.
5. වතුර හෝ දියර වර්ග ලීටර 2ක් වත් දවසකට බොන්න 
6. සති 2-4 ක්  බර වැඩ කිරීමෙන් වැලකී සිටිය යුතුයි. 
7. සතියකට පසු වැඩට යාමට පුළුවන් වුවත් බර වැඩ කිරීමට සති 4ක් වත් ගත විය යුතුයි. 
8. සති 4 කට පසු නැවත ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුයි. එහිදී අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක් (Ultra sound ) සහ X – Ray පරීක්ෂණයකින් ගල් ඉවත්කිරීම සම්පූර්ණ දැයි සොයා ගත හැක.